ප්‍රධාන විෂයන්

විශේෂ දැනුම්දීමයි!

ඔබට අවශ්‍ය පාඩම සෘජුවම අධ්‍යයනය කිරීමට ඉහළ Navigation Bar එකේ ඇති අදාළ විෂය මත Mouse එක තබා පාඩම් අංකය (Lesson 01, Lesson 02...) තෝරාගන්න.

ලකුණු ලබා ගැනීමේ ක්‍රමය (Marks Scheme)

විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ ලකුණු හිමිවන පිළිවෙළ අධ්‍යයනය කිරීමට අදාළ පාඩම තුළ ඇති Marking Scheme කොටස පරිශීලනය කරන්න.

අලුත්ම පාඩම් සටහන (Latest Update)

බෞද්ධ ශිෂ්ටාචාරය 1 නිගණ්ඨ නාථපුත්ත (වර්ධමාන මහාවීර)


 

නිගණ්ඨ නාථපුත්ත (වර්ධමාන මහාවීර)

සදාචාර ධර්ම පිළිගත්, බුදුරජාණන් වහන්සේට සමකාලීන වූ ප්‍රකට ශාස්තෘවරයෙකි. ඔහු තීර්ථංකර, නිගණ්ඨ නාථපුත්ත, වර්ධමාන මහාවීර, ජෛන මහාවීර, අරහන්ත, ජින ආදී නාමයන්ගෙන් හඳුන්වන ලද බව සූත්‍ර හා අටුවා විමසීමෙන් අනාවරණය වේ.

ඓතිහාසික පිළිගැනීම්වලට අනුකූලව බුද්ධ සමයේ ශාස්තෘ වූ ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ මෙන්ම, ජෛන සමයේ ශාස්තෘ වූ වර්ධමාන මහාවීර හෙවත් නිගණ්ඨ නාථපුත්ත තුමා ද රාජවංශිකයෙකි. සිද්ධාර්ථ කුමරු සෙයින් මහාවීර ද යශෝධරා නම් කුමරියක සමඟ විවාහ වී, ගිහි සැප විඳ, අනෝජා නම් දියණියක ලැබූ පසු ගිහිගෙය පිළිබඳ කලකිරී අභිනිෂ්ක්‍රමණය කළේය. පුරා දොළොස් වසරක් දුෂ්කරක්‍රියා කොට කේවල්‍ය ඥානය ලබා සර්වඥප්‍රාප්ත විය.

ජෛන ආගමික සාහිත්‍යයේ එන තොරතුරු අනුව නිගණ්ඨ නාථපුත්ත ජෛන ආගමේ නායකයා ලෙස සැලකේ. ආගමික වශයෙන් උසස් ම ඥානය ලැබූ තැනැත්තා හැටියටත්, සත්ත්වයන් සංසාර සාගරයෙන් එතෙර කරන දහමක් දෙසූ හෙයිනුත් "තීර්ථංකර" යන නාමය එතුමාට භාවිත කෙරේ. බුදු සමයේ ශ්‍රාවකයින් පිළිගන්නා 'බුද්ධ' යන වචනයට සමාන අරුතක් 'තීර්ථංකර' යන නමට ඇති බව ජෛන ආගමිකයෝ පිළිගනිති.

එහෙත් ජෛන ආගමික සම්ප්‍රදායට අනුව නිගණ්ඨ නාථපුත්ත ජෛනාගමේ නිර්මාතෘවරයා හෝ ආරම්භක ශාස්තෘවරයා නොවේ. ථෙරවාදී බෞද්ධයන් අතර ගෞතම බුදුන් වහන්සේට පෙර අනන්ත අපරිමාණ කාලයක් තුළ ජීවත් වූ බුදුවරුන් විසිහතර දෙනෙකු (24) ගැන විශ්වාසයක් ඇතිවාක් මෙන්ම, නිගණ්ඨ නාථපුත්තයන්ට කලින් ජෛනාගමේ ශාස්තෘත්වය දැරූ තීර්ථංකරයන් 23 දෙනෙකු සිටි බව ජෛනයෝ ද විශ්වාස කරති. එම 23 දෙනාගේ නම් මෙසේය:

පූර්ව තීර්ථංකරයන් 23 දෙනා:

  1. ඍෂභ (ආදිනාථ)

  2. අජිත

  3. සම්භව

  4. අභිනන්දන

  5. සුමති

  6. පද්මප්‍රභ

  7. සුපාර්ශ්ව

  8. චන්ද්‍රප්‍රභ

  9. සුවිධි (පුෂ්පදන්ත)

  10. ශීතල

  11. ශ්‍රේයාංස

  12. වාසුපූජ්‍ය

  13. විමල

  14. අනන්ත

  15. ධර්ම

  16. ශාන්ති

  17. කුන්තු

  18. අර

  19. මල්ලි

  20. මුනිසුව්‍රත

  21. නමි

  22. නේමි

  23. පාර්ශ්ව

නාථපුත්ත ශාස්තෘවරයෙකු වීමෙන් පසු කේවලත්වයට පත් විය. ඒ නිසා ම සමාජය ඔහු "ජින" (ජිනවරයා) නාමයෙන් හඳුන්වන ලදී. ජිනවරයාගේ දර්ශනය ජෛන දර්ශනයයි.

ජෛන දර්ශනය

සදාචාර ධර්ම පිළිගත් ජෛන දර්ශනයේ මූලික ඉගැන්වීම් කිහිපයකි:

  1. කර්මවාදය

  2. පරම අවිහිංසාවාදය

  3. ආත්මවාදය

  4. ස්‍යාවාදය

අෂ්ට කර්ම (කර්ම ප්‍රබේද 08):

කර්මය ඉතා ගැඹුරින් දේශිත මෙම දර්ශනයේ කර්මය ප්‍රබේද අටකට බෙදනු ලැබේ:

  1. ඥානාවරණීය කර්මය: නුවණ මඟහරවන / ආවරණය කරන කර්මය.

  2. දර්ශනාවරණීය කර්මය: සත්‍ය දැකීම වසාලන / ආත්මය කිලිටි කරන කර්මය.

  3. වේදනීය කර්මය: සැප-දුක් විඳීමට සලස්වන කර්මය.

  4. මෝහනීය කර්මය: මුළාව සහ රාගාදී කෙලෙස් ඇති කරවන කර්මය.

  5. ආයුෂ කර්මය: ජීවන කාලය තීරණය කරන කර්මය.

  6. නාම කර්මය: ශරීරාවයව සහ ස්වරූපය ඇති කරවන කර්මය.

  7. ගෝත්‍ර කර්මය: ජාති, උස්-පහත් කුල ගෝත්‍ර බෙදා දක්වන කර්මය.

  8. අන්තරාය කර්මය: යහපත් ක්‍රියාවලට බාධා පමුණුවන කර්මය.

ත්‍රිදණ්ඩය:

පුද්ගලයා මෙම සියලු කර්ම සිදු කරනු ලබන දණ්ඩ තුනක් ජෛන දර්ශනය හෙළි කළේය:

  1. කාය දණ්ඩ: මහා සාවද්‍ය වේ (වඩාත්ම හානිකර ය).

  2. වාග් දණ්ඩ: අල්ප සාවද්‍ය වේ.

  3. මනෝ දණ්ඩ: අල්ප සාවද්‍ය වේ.

ආත්මය සහ විමුක්තිය

ත්‍රිදණ්ඩයෙන් සිදු කරන්නා වූ සියලු කර්මයෝ ආත්මයෙහි තැන්පත් වන්නාහ, බැඳෙන්නාහ. කර්ම බැඳෙන ආත්මයේ ස්වභාවයන් තුනකි:

  1. නිත්‍ය (සංසාරික) ආත්මය

  2. මුක්ත ආත්මය

  3. ශුද්ධ / බුද්ධ ආත්මය

ආත්මය පිරිසිදු භාවයට පත් කිරීම ජෛන විමුක්තියයි. ආත්මයේ බැඳෙන කර්මය නැවත:

  1. අතීත කර්ම

  2. වර්තමාන කර්ම

වශයෙන් බෙදා දක්වනු ලැබේ. එම සියලු අතීත, වර්තමාන කර්ම ක්ෂය කිරීමෙන් ආත්මය පිරිසිදු භාවයට පත් වන්නේ ය. ආත්මය පාරිශුද්ධත්වයට පත් කර කේවලත්වයට පත් වීම සඳහා ප්‍රතිපත්තීන් දෙකක් අනුගමනය කළ යුතු වේ:

  1. සංවර භාවය

  2. නිර්ජරා භාවය

  • සංවර භාවය: සංවර භාවය තුළින් වර්තමානයේ ත්‍රිදණ්ඩය මඟින් සිදුවන කර්ම සියල්ල නවතා දැමිය යුතුය. ඒ සඳහා:

    1. පරම අවිහිංසාවාදය

    2. පංචශීල ප්‍රතිපත්තිය

    3. චතුයාම සංවර සීලය අනුගමනය කළ යුතුය.

  • නිර්ජරා භාවය: අතීත කර්ම ගෙවා දමා ආත්මය පිරිසිදු කිරීම සඳහා නිර්ජරා භාවය අනුගමනය කළ යුතුය. එනම් සීලව්‍රත අනුගමනය සහ අත්තකිලමථානුයෝගයයි (ශරීරයට දුක් දීමයි).

ආත්මය ක්‍රමයෙන් පිරිසිදු වීමත් සමඟ ම පුද්ගලයා විමුක්තිය වෙත ලඟා වන්නේ ය. එම විමුක්ති ඥානයන් පහ නම්:

  1. මති ඥානය

  2. ශ්‍රුති ඥානය

  3. අවධි ඥානය

  4. මනඃපර්යාය ඥානය

  5. කේවල ඥානය

කේවල ඥානය යනු ජෛන පරම විමුක්තියයි. මහාවීරතුමා එම විමුක්තියට ළඟා වූ අන්තිම (24 වන) ජිනවරයායි.

ශීල ප්‍රතිපත්ති

ජෛන පංචශීල ප්‍රතිපත්තිය:

  1. පාණාතිපාතා විරතිය: සතුන් නොමැරීම (අහිංසාව)

  2. අදින්නාදානා විරතිය: සොරකම් නොකිරීම

  3. අබ්‍රහ්මචරියා විරතිය: පස්කම් සැපතෙහි නොඇලීම (කාම මිථ්‍යාචාරයෙන් සහ ලිංගික සේවනයෙන් වෙන්වීම)

  4. මුසාවාදා විරතිය: බොරු නොකීම

  5. අපරිග්‍රහ විරතිය (සර්ව විරතිය): සියලු අයිතිවාසිකම් සහ බාහිර වස්තූන් රැස්කිරීමෙන් වෙන්වීම

ජෛන දහමේ චතුයාම සංවර සීලය:

  1. සබ්බවාරි වාරිතෝ: සියලු පාපයන්ගෙන් වෙන්වීම / වැළකීම

  2. සබ්බවාරි යුතෝ: සියලු පාපයන්ගෙන් වැළකී සංවර වීම

  3. සබ්බවාරි ධුතෝ: සියලු පාපයන්/කෙලෙස් සෝදා හැරීම (ධූත කිරීම)

  4. සබ්බවාරි ඵුට්ඨෝ: සියලු පාපයන්ගෙන් මිදී පාරිශුද්ධත්වයට පැමිණීම